එදා මෙදා තුර


මීට දශක කිහිපයකට කලින්. එකතරා ගම්මානෙක , ගොවිතැනෙන් ජිවත් වෙන පුංචි පවුලක් තිබුනා. මේ පවුලේ හිටය හොඳට ඉගෙන ගන්න පුතන්ඩියෙක්. ඉතින් අම්මට තාත්තට ලොකුම බලාපොරොත්තුව උනේ මෙයා . කොහොමෙන් හරි මේ බලාපොරෝත්තුවේ සැනසීම හොයා ගන්ට, පුතාව සිදාදියට යවලා උගන්වන්ට මේ දෙන්න කතා කර ගත්තා. අවසානෙදි , ගමෙන් අකුරු අහුලපු මේ කොලු ගැටයා , සිදාදියෙන් අකුරු මිලදී ගන්ට සිදාදියට එනවා.

        ගම ලස්සනයි. හැබැයි හැමදාම දකින කොකා උනත් සුදුවට පෙනිලම එපා වෙනවා වගේ. මෙයාට නගරේ හරිම ලොකු පාරාදීසයක්. හැබැයි කොල්ලා ඒවත් බලාගෙන හොඳට ඉගෙන ගන්නවා. කොහොමෙන් හරි .. ඔන්න ඉතින් මල් සරා අහස උඩින් පියමන් කරන වෙලාවක , මේ ගමෙන් ආපු කොල්ලව දිනවා . තිබ්බා අර දුන්නෙන් ඔලුවටම .. වදිනකොටම දැක්කා.. හරි හුරතල් කෙලි පටික්කියක් . එහි අවසානය .. සියලු බාධක හමුවේ ආදරය ජය ගැනීම ..

      මේ දෙන්න හරිම ආදරෙයි.. එකිනෙකට පුදුම ලෙන්ගතු කමක් තිබුනා. හැබැයි මේ ගෑනු ළමයා මුදල් අතින් පොහොසත් පවුලක . ඉතින් මේ හන්දම එයාගේ ගෙදරින් තදිම්ම මේ සම්බන්දයට විරුද්ද උනා. හැබැයි මොන දේ උනත් මේ දෙන්නව නවත්වන්නම බැහැ. මේ හන්දම ගෑනු ළමයාගේ ගෙදරින් එයාව හිර කරනවා. කොහෙවත් යන්න නොදී.. දැන් මේ දෙන්න හම්බෙන්නේ නැහැ. හැබැයි කෙල්ලගේ ලොකු අක්කා මේකට උදව් කළා.. එයා එයාගේ නමින් ගමට මේ පිරිමි ළමයට ලියුම් යැවුවා. එයාගේ නමට නංගිට ලියුම් ගෙන්න ගත්තා.

    ඉතින් මේ ඇහැට නොදකින කඩදාසියට සීමා උණු ප්‍රේමනීය හීනය. අකුරක් අකුරක් ගානේ අවුරුදු දෙක තුනක්ම දළු දාන්න පටන් ගත්තා. කොහොම හරි ගෑනු ලමයව බන්දල දෙන්න තමා දැන් හදන්නේ. විවාහයට සතියකට කලින් ආව ලියමනටත්. මේ පිරිමි ළමයා එයාගේ දුක පපුවේ තියාගෙන , අකුරුවලින් තමන්ගේ පෙම් වතිය සනසලා ලියුමක් යවනවා. දින දෙකකින් මෙයාට අක්කාගෙන් ම විදුලි පණිවිඩයක් එනවා.. මල්ලි ඉක්මනට එන්න කියල..

  මෙයා යනවා. යනකොට දකිනවා. සුදු පාටින් හැමතනම සරසලා හිතා ගන්න බැ.. මෙයා යනවා..
අවුරුදු ගානක් හිතින් ආදරය කරපු, දැක ගන්න නැතත් කවදා හරි බලන්න හිටපු, උස්මක්‌ හුස්මක් ගානේ හිතට දැනුනු . ජිවත් වෙන්න ආදරෙන් ශක්තියක් උණු තමන්ගේ පෙම් වතිය .. මිනි පෙට්ටියක් උඩ සදහටම යන්න ගිහින්.

   කරගන්නම දෙයක් නැ. කියන්න කෙනෙක් නැ .. මද සිහියෙන් ආපහු ගෙදර යනවා. යනකොට ගෙදරත් කවුරුවත් නැ. මෙයාට තිබ්බ එකම පිහිට ලියුම් ලියන්ට ගෙනාව කඩදාසි විතරයි. මෙයාගේ කතාව කියන්ට කවුරුත්ම නැති තැන.. එයා ඒක කොලයක් අරන් ලියනවා.. කඳුළු වැටෙන කොළ ගානක පෙමක් ලියපු මේ පෙම්වතා තමන්ගේ පෙම්වතිය දීපු ප්ලාස්ටික් රෝස මලක් ඒක උඩින් තියලා යන්න යනවා ..





එදා මෙදාතුර කඳුලට විවරවූ 
දෑස් පියන්පත් කවුළු වසා 

ලයේ ගලා ගිය ස්නේහයේ සුව 

සිනා පිරුණු රත් දෙතොල් වසා...
මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැද අවසන් ගමනක
සොදුරිය මට‍ නොකියාම ගියා...



අපි දෙන්නගේ ලෝකය පටන් ගත්තු එදා මෙදා තුල ..ඔයාගේ ඇස් වලින් ගලාගෙන වැටුනේ කඳුලුවිතරයි..
 ඒත් ඒ දෑස් තුලින් ඔයා අපේ ජිවිතේ ලස්සන ආදරයක් දැක්කා,, අද ඔය නෙතු කවුළු වැහිලා...
හදවතට නැගුනු සෙනෙහස හඬ නගපු ඔය දෙතොල් අද මා ඉදිරියේ ගොළු වෙලා.. ඔයාගේ රෝස පාට කම්මුල් රෝස පෙති වගේ අද මිලින වෙලා ගිහින්..
ඒ රෝස පාට අද සුදු මැලි වෙලා.. මගේ දෑතම අල්ලාගෙන සෙනෙහසින් පියමන් කල ඔය දෑත් මටත් හොරෙන් ඔය ළය මඩලේ තුරුළු කරන් මගේ රත්තරන් මාව අතැරලා...
මගේ ආදරේ නැති වෙයි බයට මුළු ලෝකෙම අතැරලා මටත් නොකියාම යන්න ගිහින්.... 


දෑස් කවුළු පත් පලා කදුලු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට 
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට - සමුගෙන කදුලක්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවදින්...


 මගේ ඇස් පිල්ලන්  කඩාගෙන බින්දගේන කඳුලු මහා සාගරයක් පාත් වෙනකොට..
ඒ මොනවා උනත්.. මුළු ලෝකෙම බලාන හිටියත් මට හිතෙන්නෙම මගේ රන්කදට එදා වගේම මුවට උඩින පාත් වෙලා ඔය මුව සිප ගන්න..
ඔයා අපේ ලෝක වලින් ඈත් වෙලා යන නිසාම හැමෝම ඔයාගේ සුවඳ නැති බව පසක් කරමින්.. සුවඳ පැනින් ඔයාව නැහැවුවත්...
මගේ රත්තරනේ.. සත්තමයි..
ඔයාගේ සුවඳ කවම දාකවත් මටවත් මගේ හිතටවත් ඈත් කරන්න බැහැ.. ඉස්සර වගේම මට ඔයාගේ සුවඳ අදටත්
හැම දාකමත් දැනෙනවා...



ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ලය
හීයේ වේගෙන් අහස උසට බැඳි

ආදර ලෝකය හෙටත් තියේ...

ඒත් ඉතින් ඒ - සොදුරියෙ ඔබ නැත

ඇයිමේ ‍ලොව මා තනිව ගියේ

ආයේ දවසක එක හිත් ඇත්නම්

මේ අපි ඉපදෙමු එකට ප්‍රියේ...

 

 ඔයයි මමයි ආදරෙන් පිරුණු ලෝකයක් හදලා මහා ගොඩක් කල් නැති වුනත්.. අපේ ආදරේ අහස උසට නැග්ගේ හීයක්‌ තරම් වේගෙන්.. ඒ ආදරේ ඊයේ අද වගේම හෙටත් තියනවා මගේ රත්තරන්... ඒත් දැන් ඔය දැන් නැහැ.. මට කියන්න... ඇයි මාව අතැරලා ඔයා මාව තනි කළේ.... දැන් හැමදේම ඉවරයි.... ඒත් මගේ වස්තුව අපි අපේම වෙලා අයෙත් මතු ආත්ම වලදී එකටම ඉපදෙමු.......

හැම දාම මම ආදරෙයි.

 

මේ කතාව ලෝකයට දුන්නු මේ පෙම්වතාත් මේ කතාව ලියල අවසන් ගමන ඉ ලඟට ආව කොච්චියයේ රෝද යටින් ගියා ..

 

සත්‍ය සිදු වීම මත පදනම්ව ,විමල් ජයශාන්තයන්ගේ පද රචනයට විශාරද සනත් නන්දසිරියන්ගේ හඬින් රසවත් වුනු මේ ගීතයෙ රස නීරස බව කිසිවක් සඳහන් කරන්නේ නැ... එය ඔබට බාරයි. 

                     

               

                   බුද්ධික සඳරුවන් සේනානායක.              
              


  


  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

0 comments:

Post a Comment